Wednesday 9 July 2014

ආදරණිය ජනතාවට කරන නිවේදනයයි


රජ පවුලේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය,
ඉල්ලංකාව.

ආදරණිය ජනතාව වෙත,
ජනතාව තම අභිලාශයන් ඉක්මවා කටයුතු කිරීම

ඉල්ලංකා ජනතාව විසින්  තම මුඛය භාවිතා කර සිදුකල යුතු යයි රාජ සභාව විසින් අනුමත කොට ඇති ආහාර ගැනීම සහ ප්‍රශස්ති ගී ගැයිම යන කාර්යයන්ට අමතරව, අනුමත අභිලාෂයන් ඉක්මවා යමින්, කතා කිරීම, විවේචනය කිරීම, අදහස් දැක්වීම, සාකච්ඡා පැවැත්වීම, කවි සින්දු කීම, කට කතා පැතිරවීම, මඩ ගැසීම, නන් දෙඩවීම, කට බලියා ගෙන සිටීම, ඇතුලු තවත් නොයෙක් අකටයුතු ක්‍රියාවන් වල නිරත වන බව දැන ගැනීමට ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි එවන් ක්‍රියාවන් වල යෙදීමෙන් වැලකිය යුතු බව ඉල්ලංකා ජනතාවට මෙයින් අවධාරණය කරනු ලැබේ.

මෙයට,
ලේකම්,

රජ පවුලේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය.

Thursday 19 June 2014

සමාවෙයන් ෆසීල්...


හොස්ටල් එකේදි
අපි ඇරගත්ත තමයි....
උඹලගෙ දෙයියො ගැන,
අල්කයිඩා, නයින් ඉලෙවන් ගැන,
අපි උඹත් එක්ක ඇරගත්ත තමයි...
උඹේ තොප්පිය හැංගුවම,
සරම කඩන්න හදනකොට,
උඹ අපිත් එක්ක ඇරගත්ත තමයි...
ඒත් කවදාවත්
උඹේ තොප්පියවත්,
මගේ පිරිත් නූලවත්,
අපිට ප්‍රශ්නයක් වුනේ නෑ.....
ඒත් දැන්
පිරිත් නූල් අහිංසක නෑ...
ලැජ්ජාව වහගන්න,
මං ඒක කපල දැම්ම මචං....
උඹට බය නැතුව,
තොප්පිය දාගෙන එන්න පුලුවන් දවසක,
මං එන්නං උඹත් එක්ක.....
රහුමානියා එකෙන්,
වඩයක් කාලා, ප්ලේන්ටියක් බොන්න.....
ඉස්සර වගේ කතා කරමු අපි,
නිලාර්ගෙ සිංහල සින්දු ගැන....

Friday 16 May 2014

අපි කන මාලු පාන්


මාලු පාන් වල මාලු නෑ...
ඒත් අපි රහ කර කර මාලු පාන් කනවා..
ගල් අරක්කු වල ගල් නෑ....
ඒත් අපි කරටි කැඩෙන්න ගල් ගහනවා...
චයිනීස් කඩවල චීන කෑම නෑ...
ඒත් අපි ඉඳල හිටල හරි  චයිනීස් යනවා....
සිවුර ඇතුලෙ බුද්ධාගම  නෑ..
ඒත් අපි දණ ගහල සිවුරට වඳිනවා....




(ඒත් කලාතුරකින් තැනක... මාලු පාන් වල මාලු තියෙන්න පුලුවන්)